| |
|
| |
|
2004 වසරේ අප රටේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් පසු ජීවිත හා දේපළ හානි වූ ජනතාවට සෙත් පැතීමේ අරමුණින් හා සුනාමි ව්‍යසනයෙන් හානියට පත් වූ කුරුඳු ඉඩම් අක්කර හාරසීයක් පමණ සංවර්ධනය කර එහි මුල්ඔ අස්වැන්න දෙවියන් උදෙසා පූජා කිරීමේ උත්සවයක් ලෙස ආරම්භ කල ගාල්ල, හික්කඩුව, සීනිගම දෙවොල් දෙවියන් උදෙසා, ප්‍රදේශයේ ජනතාවගේ නැවුම් කුරුඳු අස්වනු පූජා කිරීමේ මාහැඟි උත්සවය මේ මස 21 වන සෙනසුරාදා දහනව වන වතාවටත් උත්කර්ෂවත් අයුරින් සීනිගම දෙවොල් දේවාල පරිශ්‍රයේ දී පවත්වන ලදි.
මෙම මහෝත්සවය එවකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කල ජනක ලින්දර මහතාගේ සංකල්පයක් අනුව එතුමාගේ කාර්ය මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් 2006 දෙසැම්බර් මාසයේ දී පළමු වරට ආරම්භ කරන ලදී.දැනට එතුමන් අධ්‍යක්ෂ ජනරාල් තනතුර හොබවන කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් මෙවර මෙම උත්සවය පවත්වන ලදී.
එමෙන්ම මෙම කාලය තුළ විදෙස් සංචාරකයින් බහුලව ගැවසෙන හික්කඩුව කලාපයේ සිටින සංචාරකයින් අතර ශ්‍රී ලාංකේය කුරුඳු පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රචලිත කිරීම මෙම සත්කාර්යයේ තවත් එක් අරමුණක් වේ.
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමාගේ හා ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සදහා, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් අර්ජුන වේලාරත්න මහතා, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නයනා ද සිල්වා මහත්මිය, ශ්‍රී ලංකා කුළුබඩු කවුන්සිලයේ ඩී. ඒ පෙරේරා මහතා, අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.පී.දිස්නා මෙනෙවිය, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා ඇතුළු දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා කුරුඳු පිළිබඳ ආරක්ෂක භූගෝලීය දර්ශක සංගමය, ගාල්ල දිස්ත්‍රික් කුරුඳු වගාකරුවන්ගේ සංගමය හා ගාල්ල දිස්ත්‍රික් පැල තවාන් කරුවන්ගේ සංගමය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පැල තවාන් ශිල්පීන් ඇතුලු බොහෝ පිරිසක් සම්බන්ධ විය. මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය සී.ස. ඒ බවර් සහ සමාගම විසින් දරණ ලදී.



